ඉතිහාසයේ පැවති වඩාත් සාමකාමී මැතිවරණය මෙයයි

මෙවර මහමැතිවරණය ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණයක් බවත් රාජ්‍ය දේපොළ අවභාවිතාව සම්බන්ධයෙන් මෙවර කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් මැතිවරණ කොමිසමේ සභාපති එම්.එල්.ඒ.එම්. රත්නායක මහතා කියා සිටී.

ඉතිහාසයේ පැවති සාමකාමීම මැතිවරණය 2024 මහමැතිවරණය බවත් ප්‍රජාතන්ත්‍රවාදයට නිදහස් හා සාධාරණයට ආසන්න හොඳම මැතිවරණය මෙය බවත් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ද තහවුරු කර තිබේ.

ශ්‍රී ලංකාවේදී 1947න් පසුව පවත්වන ලද මැතිවරණයකදී දක්නට ලැබුණු ප්‍රශස්තම මැතිවරණය මෙය යැයි ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආච්චි මහතා පැවසුවේ මෙවර ඡන්දය දැමීම සියයට 75ක ප්‍රතිශතයක් වාර්තා වී තිබෙන බවයි.

පෙළපාළිවලින් වැළකී ඉදිරි සති දෙකක කාලය ද පුරවැසි වගකීම ඉටු කරන්නට පියවර ගන්නා ලෙස ද හෙතෙම ඉල්ලා සිටියේය.