මහ මැතිවරණයේ ප්‍රචාරක කටයුතු 11වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ප්‍රචාරක කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ දිනය දක්වා නිහඬ කාලසීමාව ක්‍රියාත්මක වන අතර එම කාලය තුළ කිසිදු ප්‍රචාරක කටයුත්තක් සිදුකළ නොහැක.

කෙසේ වෙතත් අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට(12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.

නොවැම්බර් මස 14 වන දින පැවැත්වෙන පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබේ. මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වන ආසියානු රටවල මැතිවරණ කොමිෂන් සභාවල නියෝජිතයින් පිරිසක් අද(11) දිවයිනට පැමිණීමට නියමිතය.

යුරෝපා සංවිධානය ඇතුළු ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල නියෝජිතයින් දැනටමත් දිවයිනට පැමිණ සිටින අතර තවත් පිරිසක් ඉදිරියේදී පැමිණීමට නියමිත බව සඳහන්ය.