චීන රජය ශ්‍රී ලංකාව වෙත තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක්

චීන රජය ශ්‍රී ලංකාව වෙත තවත් හදිසි මානුෂීය සහනාධාර තොගයක් සැපයීමට තීරණය කරයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා ඊයේ(30) අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය හමුවූ අවස්ථාවේ දී මේ බව පැවසීය.

ජලගැලීම් හේතුවෙන් පසුගියදා ශ්‍රී ලංකාවට ඇති වූ ආපදා තත්ත්වය පිළිබඳව චීන රජය වැඩි අවධානයක් යොමු කරන බව Qi Zhenhong මහතා එහිදී සඳහන් කළේය. එවැනි පසුබිමක මෙලෙස තවත් සහනාධාර තොගයක් ලබා දීම දෙරට ජනතාව අතර මිතුදම වඩාත් පිළිබිඹු කරන්නක් පමණක් නොව, චීන රජය ශ්‍රී ලංකාවේ නව රජයට දක්වන සහාය ද සනාථ කර ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය හා ජනතාව අසීරුතා මගහරවා ගනිමින් යථා තත්ත්වයට පත් වෙතැයි චීන තානාපතිවරයා විශ්වාසය පළ කළේය.

චීන රජය හා ජනතාව තම රටට දක්වා ඇති අගනා සහාය පිළිබඳව හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය සිය කෘතඥ්‍යාව පළ කළාය. හදිසි මූල්‍ය ආධාර ලබා දී ඇති චීනය, මෙලෙස යුවාන් කෝටියක වටිනාකමකින් යුත් තවත් මානුෂීය ආධාර තොගයක් සැපයීම තුළ ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ළෙන්ගතුකම මනාව පෙන්නුම් කර තිබේ. චීනය විශ්වාසවන්ත හා සමීප සහෝදරයෙකු මෙන් ම හවුල්කරුවෙකු බව ඉන් පිළිබිඹු වන්නේ යැයි ද අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය එහිදී ප්‍රකාශ කළාය.