ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බව ජනපති පවසයි

පසුගිය ජනවරම තුළ ජනතාව තැබූ අපේක්ෂාවන් ඉටු කිරීමට වත්මන් රජය අපොහොසත් වුවහොත් ජනතාව සුබවාදී අනාගතයක් පිළිබඳ සිහින දැකීම ද අත්හරින බවත්, ජනතා අපේක්ෂා ඉටු වන රාජ්‍යයක් නිර්මාණය කිරීමට රාජ්‍ය නිලධාරීන් කැපවිය යුතු බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ඊයේ (22) එම අමාත්‍යංශයේ දී වැඩ භාර ගැනීමෙන් අනතුරුව එහි කාර්යමණ්ඩලය අමතමිනි.

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ රට ඉන් මුදා ගැනීමට මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් ලබා දුන් දායකත්වය මෙහිදී කෘතවේදීව අගය කළ ජනාධිපතිවරයා මින් ඉදිරියට ඇති ජයග්‍රහණ කරා යාමේ දී සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කර ඇත.