නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය 21වැනිදා සවස 3.00ට පාර්ලිමේන්තුවේ දී

10වැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම  නොවැම්බර් 21වන දින පස්වරු 3:00ට ජනාධිපතිවරයා විසින් සිදු කිරීමට නියමිත බව පාර්ලිමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

පාර්ලිමේන්තුවේ සභාවාරයක් ආරම්භයේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමටත්, පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල හිමි ව තිබෙන බව එම නිවේදනයේ දැක්වේ.

ඒ අනුව, පාර්ලිමේන්තුවේ සෑම නව සභාවාරයක් ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබයි.

මෙහිදී ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳ සවිස්තරාත්මක විග්‍රහයක් ජනාධිපතිවරයා සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් පාර්ලිමේන්තුවට සහ මහජනතාවට ඉදිරිපත් කරනු ඇත.

අතීතයේ මෙය රාජාසන කථාව නමින් හැඳින්විණ.