නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම හෙට(18)

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට(18) පෙරවරු 10.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

මේ අතර 10 වන පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි කිරීමේ කටයුතු අද(17) සිට ලබන 20 වැනිදා දක්වා සිදු කෙරේ. පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවේ අදාළ දිනවල පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණීමෙන් ද ඒ සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ඇති බවයි.

මේ අතර ජාතික ලැයිස්තුවෙන් තෝරාපත් කර ගැනීමට නියමිත මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛණ කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කරන ලෙස අදාළ පක්ෂ වෙත දැනුම්දීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

ඉන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් එම නාම ලේඛණය ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට ද නියමිතය. ඒ ඒ දිස්ත්‍රික්කවලින් ඡන්දයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගේ නම් ඊයේ(17) ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරිණ.